මාදම්පෙ හංදියේ සිට රක්වාන මාර්ගයේ මද දුරක් ගිය විට සුන්දර කඳුවැටියක් මත පිහිටි ර/ මාදම්පෙ විජය මහා විද්‍යාලය දැක ගත හැක. මෙම පාසල ඈත අතීතයේ දී චිත්‍ර කලාව සඳහා වඩාත් ප්‍රසිද්ධ සෞන්දර්ය පාසලක් ලෙසට පැවතිණ. චිත්‍ර කලාව ගැන කතා කිරීමේ දී අදටත් අප ගෞරවයෙන් සිහිපත් කළ යුත්තේ හිටපු සෞන්දර්ය කලා අධ්‍යක්ෂක ඒ. ඩබ්. සිරිල් ගුණවර්ධන මහතා හා උපාලි රංජිත් රණවක මහතාය. ඔවුන්ගේ දැඩි කැපවීම මත ලෝකයේ රටවල් ගණනාවක සහභාගිත්වයෙන් පැවැති ජාත්‍යන්තර චිත්‍ර තරගවල දී රන් පදක්කම් දිනා ගැනීමට මෙම විද්‍යාලයේ සිසුන්ට හැකි විය.
එකල මෙම විදුහල සමග තරග කිරීමට සිටි එකම විදුහල නම් කොළඹ ආනන් ද විදුහල පමණි. එනමුදු එවැනි සුපිරි විද්‍යාල අභිබවා විජය මහා විද්‍යාලයේ දරු දැරියන් ඉදිරියෙන් සිටියහ. කුප්පි ලාම්පු එළියේ උපකාරයෙන් චිත්‍ර වර්ණ කළ මෙම දරු දැරියන්ගේ චිත්‍ර රන් , රිදී , තඹ පදක්කම් ලබා දීමට වාසනාව උදාකළා සේම විදේශ සංචාර සඳහා ද අවස්ථාව ලබා දුනි.